top of page

ජාතිවාදය ඇවිළවීම

 

25/May/2015

ත්‍රස්තවාදය යුදමය ලෙස අවසන් කළ මැයි 19 වැනි දා මෙවර සැමරුවේ බෙදුම් වාදය පරාජයට පත් කළ, ජාතික සංහිඳියාව තේමා කර ගත් ජාතික රණවිරු දිනය ලෙසිනි. 2009 මැයි 19 වැනි දා සිට පෙරට ගත යුතු ව තිබුණු, එහෙත් පැවති රාජපක්ෂ පාලනය මුහුණ නොදුන්, මඟ හැර ගිය අභියෝගයක් විය. ඒ කොටි ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් මෙරට සියලු ජාතීන් එකිනෙකා තව දුරටත් නොබෙදා එක මාවතකට, මානසික ඒකීය භාවයකට ගැනීම යි.

 

බිඳුණු හිත් සුවපත් කරමින් ජාතික සංහිඳියාව ගොඩනැඟීම, තම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාතර දී පැවති රණවිරු සැමරුම් උලෙළ අමතා යළි අවධාරණය කළේ තමන් ඒ අභියෝගය භාර ගෙන ඇති බව යි. ජනාධිපතිවරයාගේ නිල ‘ෆේස් බුක්’ ගිණුමට එක් කර තිබුණු සටහන්වලින් මෙන් ම සමාජ වෙබ් අඩවිවල මේ ගැන ලියැවුණු ප්‍රතිචාරවලින් ද කියවුණේ එක ම රටේ තවත් ජාතියකට හිත් රිදවීමක් නොවන ලෙස රණවිරු සැමරුම ඉතා චාම් ලෙස පැවැත්වීමට පියවර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පරිණත නායකත්වය පෙන්වා ඇති බව යි.

ජනාධිපතිවරයා දක්වන පරිණත නායකත්වය හා චාම් සරල චරිත ස්වභාවය කාටත් ඉඩ ඇති සෙවණක් සේ දැනීයාමක් ද වන නිසා එය බිඳුණු හිත් ගොඩනඟන්නට මහඟු අනුබලයකි. දෙමළ ජාතිවාදී දේශපාලනය දැඩි ව විවේචනය කරන අවස්ථාවල දී වුව ද අගමැති ඩී. එස්. සේනානායකයන් සමඟ එක මාවතක දේශපාලන ගමනක් යන්නට තමන් කැමති වූයේ ඔහු ඇසුරේ හිතට සහනයක් සංහිඳියාවක් ඇතැ යි දැනෙන නිසා බව එදා දෙමළ දේශපාලනඥයන් කීවා ලු.

මාධ්‍ය ආයතන ප්‍රධානයන් හා පුවත්පත් කතුවරුන් සමඟ ජනාධිපතිවරයාගේ හමුවක් පසුගිය බදාදා ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී, විවිධ විෂයයන් අරබයා මතු කළ ප්‍රශ්න අතර යළි කොටි ත්‍රස්තවාදය මතුවන බවට හා ත්‍රස්තවාදීන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් වාර්තා වීම ගැන ද ජනාධිපතිවරයාගෙන් විමසනු ලැබිණ. ජාතික කොඩිය වෙනුවට කොටි කොඩි එසවීම ගැන තමාට දැන ගන්නට ලැබුණේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කී කතාවක් ගැන ද එහි දී ප්‍රශ්න කෙරිණි.

එය මහින්ද රාජපක්ෂ මහතාට පමණක් පෙනෙන කොඩියක් දැ යි දන්නේ නැතැ යි සඳහන් කළ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය සැමරීම් සිදු වී නම් නීති මඟින් ක්‍රියා කරන බවත් යළි ත්‍රස්තවාදයට හිස එසවීමට කිසි දු ඉඩක් නොදෙන බවත් අවධාරණය කළ අතර පැය විසිහතරකට වරක් තමා වෙත ලැබෙන බුද්ධි අංශ වාර්තාවලට අනුව නම් යළි කොටි ත්‍රස්තවාදය හිස ඔසවන බවට කිසි ම ‍තොරතුරක් නැති බව අවධාරණය කළේ ය.

පැවැති රාජපක්ෂ පාලනය සමයේ ජාතීන් බිඳවීමට ගත් තැත පරාජයට පත් වූ පසු ව ද අත්හැර නැති බවත් එහෙත් මෛත්‍රී පාලනය යටතේ එවැනි බෙදීමකට ඉඩක් නොදෙන බවත් එයින් පැහැදිලි වේ.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම රට දිනා ගත් තීරණාත්මක ජයග්‍රහණයක් බවට විවාදයක් නැත. ඒ ජයග්‍රහණය රාජපක්ෂ පවුලේ ජයග්‍රහණයක් බවට අර්ථකථනය කරමින් එය සමරන්නට දුන් ඉඩ ජාතීන් අතර සංහිඳියාව තව තවත් පළුදු කරන්නට ම හේතු විණි. රටවල් අතර සිදු වන යුද්ධයක දී වුව ද ජයග්‍රහණය සැමරීම යුද කාමයෙන් ජන මනස දූෂිත නොවිය යුතු සීමාවේ තබා ගැනීම ශිෂ්ට සම්පන්න ගතිය යි. එකිනෙකා මරා ගන්නා යුද්ධයක් ඇත්තට ම අවසන් කිරීම හැරෙන්නට ජයග්‍රහණයක් ලෙස ම පවත්වා ගැනීම ශිෂ්ට සම්පන්න ජන සමාජයකට ඔරොත්තු නොදෙන්නක් වන බැවිනි.

අනෙක් අතට ලංකාවේ දී සිදුවූයේ අභ්‍යන්තර ත්‍රස්තවාදයක් අවසන් කිරීමක් මිස රටක් හෝ ජාතියක් යටත් කිරීමක් නොවන නිසා මැයි 19 යුද්ධ ජයග්‍රහණයක් ලෙස සැමරීම කිසිසේත් ම සුදුසු නොවේ. ඒ නොකළ යුතු ම දේ රාජපක්ෂ පාලනය විසින් දිගින් දිගට ම මුලට ගන්නා ලද අතර ත්‍රස්තවාදය රටේ නැතිවත් එහි අමානුෂික පීඩනය උතුරට පමණක් නොව දකුණට ද දනවන්නට පියවර ගත්තේ ය. රාජපක්ෂ පාලනයේ ඒ වියරු ස්වභාවය නොදැනුණේ වහල් භාවයට පත් යටත්වැසි මානසිකත්වයෙන් හා ජාතිවාදයෙන් මත් වූවන්ට පමණි.

තම ඒකාධිපති පාලනය තහවුරු කර ගැනීම පිණිස ජාතිවාදය පෙරට ගත් පුරුද්ද අත්හරින්නට නොහැකි නිසා දේශපාලන ව පරාජයට පත් වී ගෙදර යන අතර මඟ දී පවා පන්සල් ගානේ රස්තියාදු වෙමින් ‘කොටි කොඩි ඔසවනවා’ කියමින් යළි යළිත් ජාතිවාදයම පතුරුවයි. රටේ රාජ්‍ය පාලනය අත් කර ගෙන සිටියේ ඊට ගැළපෙන කණ්ඩායමක් දැ යි නැවත නැවත සිතන්නට ද මෙවැනි කතා මඟ පාදයි.

හිත්වල සංහිඳියාවට ඉඩ සලසන පින් බිම පන්සල යි. ඒ පන්සල ‘තක්කඩි දේශපාලනයට’ ඉඩ දීමෙන් සිදු වන්නේ ජාතීන් අතර පමණක් නොව එක ම ජාතියේ, එක ම පවුලේ, සංහිඳියාව සමගිය ද විනාශයට හැරීම යි. මේ ගැන හොඳින් සිතා බලා කටයුතු කිරීම අද දවසේ භික්ෂූන් වහන්සේට පැවරෙන වගකීමකි. ‘භික්ෂුවගේ උරුමය’ සියලු ජනයාගේ හිත සුව පිණිස පහන් සංවේගය වෙතට ජන මනස යොමු කරවීම මිස ජාතිවාදයටත් අවස්ථාවාදී දේශපාලනයටත් පාර තැනීම නොවේ.

ජාතිවාදය වනාහි අවස්ථාවාදයේ ළඟ ම නෑයකු බව අවබෝධ කරගන්නා තුරු මිනිස් සිත් ඇවිළවීමට ජාතිවාදයට හැකි වනු ඇත.

 

bottom of page