top of page

ඇවන්ට්ගාඩ් සල්ලිවලට යහපාලන රජයේ නීතියත් යටවන ළකුණු.?

28/Aug/2015

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවට වගකිව යුතු ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව පවරා තිබූ නඩුව සදහා වන සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අධිකරණය විසින් දන්වා ඇත.එසේම මෙම නඩුවේ ප්‍රධාන චෝදනා ලැබූවෙකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ට ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ හේතුවෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම අද ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය ආණ්ඩු සමයේ මෙම දූෂිත නිලධාරීන් රැකීමට දින සියය තුළද, විජේදාස මෙන්ම තිලක් මාරපන ක්‍රියා කළ බව විධායක සභාවේදී සනාථ වු බව පා.ම අනුර කුමාර මහතා විසින්ද ප්‍රසිද්ධියේ සඳහන් කරනු ලැබුවා. 

“බොකෝහරාම් ත්‍රස්තයින්ට අවි සැපයූ ලොක්කෝ මෙන්න.!   යනුවෙන් ඇවන්ට්ගාඩ් සමාගම පසුගිය ආණ්ඩු සමයෙහි ත්‍රස්ත්‍රවාදීන්ට ආයුධ සැපයූ ආකාරය පිළිබඳවත් කරුණු සහිතව අප විසින් හෙළිදරව්වක් කරනු ලැබුවා.

රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන පෙලේ සාමාජිකයින්ගේ ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වූ ඇවන්ට් ගාඩ් පුද්ගලික ආරක්ෂක සේවා සමාගම නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා ආරක්ෂක නිලධාරීන් හා අවි සැපයීම මගින් මෑත කාලයේ දී අති මහත් ධනස්කන්ධයක් රැස් කර ගැනිමත සමත් වූ අතර, මෙම බොහෝ සේවාවන් මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කල ඒවා වීම ද විශේෂත්වයකි. කෙසේ නමුත් රාජපක්ෂ රෙජීමයේ අවසානයත් සමග කරලියට ආ ඇවන්ට් ගාඩ් සමාගමේ පැටිකිරිය සමාජයේ වැඩිපුර කතාබහට ලක් වූයේ ගාල්ල වරායේ තිබී හමුවූ පාවන අවි ගබඩාවත් සමගිනි. කෙසේ නමුත් ක්‍රමක්‍රමයෙන් එහි අනිකුත් “ව්‍යාපාර කටයුතු” සම්බන්ධ තොරතුරු ද මේවනවිට හෙලිදරව් වෙමින් පවතී. මින් ප්‍රධාන තැනක් ගනුයේ මුහුදු ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීම හා ප්‍රහාරක යාත්‍රා සමූහයක් නිෂ්පාදනය කිරීම සඳහා නයිජීරියානු රජය සමග ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වැනි දැවැන්ත මුදලකට කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීම යි.

එමෙන්ම අදාල කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා සමාගම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ප්‍රධනීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජූනි මාසයේ දී නයිජීරියාව බලා පිටත්වී ගිය බවත් ඇවන්ට් ගාඩ් සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් නිශ්ශංක සේනාධිපතිගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම අනිකුත් සියළු ආරක්ෂක සේවා සමාගම් පරදා අදාල කොන්ත්‍රාත්තුව ඇවන්ට් ගාඩ් වෙත ලබා ගැනීමට සමත් වූ බවත් එම සමාගම විසින් මෑතක දී ප්‍රසිද්ධියේ පිලිගන්නා ලැබුවා.

මේ අතර මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඇවන්ට් ගාඩ් සමාගම නයිජීරියාවට අවි ආයුධ සපයා ඇති බවත් එම අවි ආයුධ බොකෝ හරම් ත්‍රස්තවාදීන්ගේ අතට පත් ව ඇති බවත් චෝදනා කරන ලදී. කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මස 5 වැනිදා පැවැති නයිජීරියානු මැතිවරණයෙන් ජයගත් මුහම්මදු බුහාරිගේ නව රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කල අතර ඒ සම්බන්ධව එරට රජයේ නිල විරෝධතාවක් ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් එස්. ‍යූ. අහමඩ් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට භාර දෙන ලදී.

විදේශ කටයුතු ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී නයිජීරියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ නයිජීරියානු රජය ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීම හා ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය කිරීම සම්බන්ධව ඇවන්ට් ගාඩ් සමාගම සමග ඇමරිකානු ඩොලර් 300ක ගිවිසුමකට එලඹී ඇති බව යි. එහිදී ඔහු පවසා ඇත්තේ අදාල ගිවිසුමට එලඹීමට නයිජීරියානු රජය තීරණය කර ඇත්තේ ඇවන්ට් ගාඩ් සමාගම ශ්‍රී ලංකා රජයට අනුබද්ධ ආයතනයක් ලෙස නයිජීරියානු රජය සිතූ නිසා බව යි. 

එම සමාගම පුද්ගලික ආයතනයක් බව තම රජය නොදැන සිටි බවද අහමඩ් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයේ හා ආරක්ෂක අංශවල ඉහල නිලධාරීන් පිරිසක් ඇවන්ට් ගාඩ් සමාගම ප්‍රවර්ධනය කිරීම සඳහා පැමිණ සිටී නිසා නයිජීරියානු රජය මෙම උපකල්පනය සිදුකර ඇති බව යි.

එබැවින් මෙම නිලධාරීන් තම නිලය හා තනතුර යොදාගෙන විදෙස් රජයක් නොමග යවමින් පුද්ගලික සමාගමකට කොන්ත්‍රත්තු ලබා ගැනීම සඳහා සහාය වී ඇති බව නයිජීරියානු රජය විසින් ම හෙලිදරව් කොට තිබේ. එබැවින් මෙම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

එමෙන්ම අදාල ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම නයිජීරියානු රජයේ නියෝජිතයින් සමග එරට අගනුවරදී ගත් සමූහ ඡායාරූපයක් ද මේවනවිට නිකුත් වී තිබේ. එම ජායාරූපයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරල් ජයන්ත පෙරේරා, ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාන හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න යන මහත්ම මහත්මීහූ දැක්වෙති.

 

bottom of page