top of page

Rajapaksha family Allegations & Bribery

12/Aug/2015

ඊ‍ෙය් අප පුවත්පතෙහි ප්‍රධාන ප්‍රවෘතියෙන් හෙළිදරව් වන්නේ රාජපක්ෂ පාලනය පිළිබඳ තවත් අශික්ෂිත සිදුවීම් ගණනාවෙකි. එම ප්‍රවෘත්තියට අනුව රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන් ම ප්‍රාදේශීය දේශපාලකයන් ද සිය පාක්ෂිකයනට රැකියා ලබාදීම සඳහා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත අවසර ලබාගත යුතුය. නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති නොවේ. අගමැති ද නො වේ. ඔහුට විශේෂ සුදුසුකමක් ලෙස තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වීම පමණි. ඒ සුදුසුකම ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිත කරමින් නාමල් බේබි රටේ පාලනයට ඇඟිලි ගසා ඇති බවක් මේ සිද්ධියෙන් පැහැදිලි වේ.

මේ ප්‍රවෘත්තිය සාක්ෂි සහිත ව සනාථ කර ඇත්තේ රැකියා සැපයීමේ දී ආණ්ඩුව ගෙන ගිය නිර්ලජ්ජිත වැඩපිළිවෙළයි. නියෝජ්‍ය කථානායක ලෙස කටයුතු කළ චන්දිම වීරක්කොඩි මහතා මහාමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදීම සඳහා නාමල්ගෙන් ලිඛිත අවසරයක් ඉල්ලා ඇත. ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ රැකියා ලබාදීම සඳහා නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ නාමල්ගේ අවසරය ඉල්ලා ඇත. ලංකා බැංකුවේ රැකියා ලබාදීම සඳහා ඇමැති සී. බී. රත්නායක නාමල්ගේ අවසරය ඉල්ලා ඇත. වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන තමන්ගේ පාක්ෂිකයන්ට රැකියා හා පුහුණුව ලබාදීමට නාමල්ගේ අවසරය ඉල්ලා ඇත. අබේගුණවර්ධන අමාත්‍යවරයා ඉල්ලා සිටි රැකියා ද පුහුණුව ද සැපැයිය යුත්තේ වරාය අධිකාරිය වෙතින් ය. වරාය අධිකාරිය පැවැතියේ ඇමැති අබේගුණවර්ධන යටතේය.

පත් කළ මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ලිපියක් ලියමින් තම හිතවතුන් පිරිසක් පරිපූරක අතුරු වෛද්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට කටයුතු කර දෙන මෙන් නාමල්ගෙන් ඉල්ලා ඇත. මේ නාමල් රාජපක්ෂගේ බල අධිකාරීත්වය පෙන්වන සාධක කිහිපයක් පමණි. වරක් නාමල්ගේ අස්සනින් යුතු ලිපියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබේ. එහි සඳහන් ව තිබී ඇත්තේ නියමිත සුදුසුකම් සපුරා නැති විද්‍යාර්ථීයකු විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාඨමාලාවක් සඳහා තෝරාගන්නා ලෙස ය. හැබෑවට ම එය ඉටු වී ඇත. රැකියා ලබාදීමට පමණක් නොව; උසස් අධ්‍යාපනයට පවා බලපෑම් කිරීමේ හැකියාවක් නාමල් රාජපක්ෂට තිබුණු බව මෙයින් පැහැදිලි වේ.

මේ සිද්ධිය සමඟ ගැටගැසෙන තවත් දේවල් ගණනාවක් තිබේ. ඉන් පළමුවන්න නම්; හිටපු ඇමැතිවරුන් පවා නාමල් බේබි ට මෙතරම් භය පක්ෂපාත නම්; එදා රජයේ නිලධාරීන්ගේ තත්ත්වය කෙබඳු ද යන්න ය. ලංකා බැංකුවේ හිටපු සභාපති ගාමිණී වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය. ඊට හේතුව එදා ආණ්ඩුවෙන් එල්ල වූ දේශපාලන බලපෑම් ය. විමසා බැලිය යුතු දෙවන කරුණ වන්නේ රටේ පාලකයා ලෙස ජනාධිපතිවරයා මේ අකටයුත්ත නතර කිරීමට ඉදිරිපත් නොවූයේ මන්ද යන්නය. ඔහු සිය පුත්‍රයා තවදුරටත් බලගැන්වූයේ මිස පුත්‍රයා නිවැරැදි කිරීමට ඉදිරිපත් වූයේ නැත.

තුන්වන කාරණය වන්නේ එදා තරුණ පරපුරට ආණ්ඩුව සලකා ඇති අයුක්තිසහගත ස්වරූපය යි. නිල් බළකායට එකතු නො වන කෙනකුට රැකියාවක් ලබා ගත හැකි ක්‍රමයක් නැත. පුහුණුවකට යා හැකි ක්‍රමයක් නැත. මේ තත්ත්වයට අනුව වෙනත් පක්ෂයක් නියෝජනය කරන තරුණයකුට කිසිදින යුක්තිය ඉටුවන්නේ නැති බව පැහැදිලි ය. රාජපක්ෂ රෙජීමය, පවුල්වාදය, ඒකාධිපතිවාදය යනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි ව සමාජයෙන් නැ‍ඟෙන විවේචනය බොරුවක් නො වන බවත්; රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මහජනයා පෙළ ගැසීම සහේතුක බවත් මේ සිදුවීම් ඔස්සේ පැහැදිලි වෙයි. ජනතාව රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම සාධාරණ බව ද ඒ අනුව පෙනී ය යි.

රාජපක්ෂ පාලනයට සම්බන්ධ තවත් ප්‍රබල සිදුවීමක් පිළිබඳ සමාජ සංවාදයක් මේ දිනවල පවතී. ඒ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීඩ් තාජුදීන් ගේ අභිරහස් මරණය යි. සිදුවෙමින් පවතින පරීක්ෂණවලට අනුව පෙනී ගොස් ඇත්තේ තාජුදීන් රිය අනතුරකින් මිය ගියා නොව; ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කොට පසුව රිය තුළට දමා කෘත්‍රීම රිය අනතුරක් නිර්මාණය කර ඇති බව ය. තාජුදීන්ගේ සිරුරේ පැවැති තුවාල, රිය අනතුර සිදු වී ඇති ආකාරය ආදිය එක අතෙකින් ඊට සාක්ෂි සපයන අතර තව අතෙකින් තාජුදීන් පැහැරගෙන ගිය බවට සැකකරන පුද්ගලයෝ තිදෙනෙක් හිටපු ජනාධිපතිගේ ආරක්ෂක අංශයේ සිටිති. පැහැරගැනීම සඳහා ජීප් රථයක් භාවිත කර ඇතැ’යි හෙළිදරව් වී ඇත. එම ජීප් රථයේ හිමිකාරීත්වය ඇත්තේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත ය.

හිටපු ජනාධිපතිවරයාගේ රගර් ක්‍රීඩක පුත්‍රයාගේ නම මේ ඝාතනයට ඈඳී ඇත. කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වන තවත් වැදගත් කරුණු කිහිපයක් තිබේ. එකක් නම්; තාජුදීන් හා ජනාධිපතිවරයාගේ පුත්‍රයා අතර කාලයක සිට යම් ආරවුලක් තිබී ඇති බව ය. ඊට පෙම් පළහිලව්වක් මුල් වී ඇති බව ද දැනගන්නට ලැබේ. තාජුදීන් හා ජනාධිපති ගේ පුත්‍රයා එකට රගර් ක්‍රීඩා කර ඇති බවද, තාජුදීන් ජනාධිපති පුත්‍රයාට වඩා ක්‍රීඩාවෙහි දක්ෂ බව ද දැනගන්නට ලැබේ. මේ හැරෙන්නට තාජුදීන් බලවතුන් ගේ පුත්‍රයන් මායිම් නොකරන පුද්ගලයකු බව ද දැනගන්නට ලැබේ. මේවායින් ගොඩනැ‍ඟෙන තර්කවලින් තාජුදීන් හා ජනාධිපති පුත්‍රයා අතර විරසකයක් තහවුරු කරයි.

මේ අතර අප සිහියට නැ‍ඟෙන ඉරාකයේ අත්දැකීමක් තිබේ. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ඒකාධිපති පාලකයකු බව ද අත්තනෝමතික දරුණු තීන්දු ගන්නකු බවද ප්‍රකට ය. ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඊටත් වඩා දරුණු බව ලෝක දේශපාලනය දන්නෝ දනිති. වරක් ඉරාකයේ ජාතික පා -පන්දු කණ්ඩායම ප්‍රතිපක්ෂ රටක පා පන්දු කණ්ඩායමට පැරුදුණේ ය. මෙයින් කෝපයට පත් සදාම් හුසේන්ගේ පුත්‍රයෝ ඉරාක ජාතික පා පන්දු කණ්ඩායමේ සියලු දෙනාගේ කකුල් කඩා දැම්මෝ ය. සදාම්ගේ පාලන කාලය තුළ කිසිවෙකු ඊට විරෝධය දැක්වූයේ නැත. එහෙත් සදාම්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ පැවැත්විණි.

මේ දේශපාලන අත්දැකීම් ඔස්සේ අපට ලැබෙන වැදගත් පණිවිඩයක් තිබේ. එනම්; ඒකාධිපති පාලනයක් යටතේ පාලකයා පමණක් නො ව; පාලකයන්ගේ පුත්‍රයන් ද රට විනාශ කරන බව ය.

 

bottom of page