top of page

රාජපක්ෂලා අත්පත් කරගත් රජයේ දේපල යළි ලබාගන්න බලකායක්

01/May/2015

 

 

මහින්ද රාජපක්ෂ යුගයේදී එම පවුලේ සාමාජිකයන් හා හිතවතුන් විසින් නීති විරෝධි ලෙස රැස්කළ රාජ්‍ය වත්කම් යළි අත්පත් කර ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් රජය ඊයේ (30) පිහිටුවනු ලැබීය.

 

සාමාජිකයින් 13 දෙනකු ගෙන් මෙම කාර්ය බළකාය සමන්විත වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොවුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමීය.

හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ බිම්බා තිලකරත්න ජයසිංහ, එච්. එම්. එල්. ටී. මුදලිගේ, එච්. අමරතුංග සී. ඒ. එච්. එම්. විජේරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ. කේ.ඩී. ඩී. අරන්දර, එල්. එස්. පතිනායක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කල්යානි දහනායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර, ඩී. ජී. එන්. ජයවර්ධන සී. ඒ. ප්‍රේමශාන්ත, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ගයන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්ම මහත්මීහු මෙම කාර්ය බළකායේ සාමාජිකයෝ වෙති.

නීතිවිරෝධි ලෙස රැස්කර ගෙන ඇති රජයේ දේපොළ ආපසු ලබා ගැනීමට කාර්ය බළකායක් පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබුණි.

 

bottom of page