top of page

තාජුඩීන් ඝාතනයට අදාළ වීඩියෝ පට මොරටු සරසවියට

10/Dec/2015

 

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝපට කීපයක්‌ පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්‍ෂණයක්‌ සිදු නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටී. මෙම ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය.
කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක්‌ තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක්‌ තුළදී මකා දමන බවද පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.
පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ මෙම ඝාතනයට අදාළව රූපගතවී ඇති බවට සැකකරන සීසීටීවී දර්ශන නැවත ලබා ගැනීමටයි.
මේ අතර රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසිම් තාජුඩීන්ගේ ගොඩගත් මළ සිරුර සම්බන්ධයෙන් වූ විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉකුත් දෙසැම්බර් මස 03 වන දින කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ලබා දී ඇත. එම වාර්තාව ලබා දී ඇත්තේ තාජුඩීන්ගේ මෘත ශරීරය පිළිබඳ පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා විසිනි. පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණ වෛද්‍යවරයා පෙන්වාදී ඇත්තේ වසිම් තාජුඩීන් රියඅනතුර සිදු වන මොහොතේ වාහනය පදවා නොමැති බවයි. තාජුඩීන්ට පහර දී දුර්වල කිරීමෙන් පසුව සිරුර මෝටර් රථයේ වම්පස අසුනේ තබා අනතුර වීමට ඉඩ සලස්වා තිබෙන බවත් ඒ අනුව මෝටර් රථය ගිනි ගැනීම වසිම්ගේ මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදු වෙමින් තිබූ කාල පරාසයේ සිදු වී ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය මතයක් පළ කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණවලට අනුව වසිම් තාජුඩීන් පණපිටින් පුළුස්සා ඇති බව තහවුරු වේ.

මෙම ඝාතනයට ශ‍්‍රී ලංකා රගර් පරිපාලන ගැටලූවක් හේතු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර රගර් ක‍්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙම ඝාතනය සඳහා තිස්ස නමැති හමුදා නිලධාරියෙක් ද සම්බන්ධ වී ඇත. තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද හදිසි අනතුරක් ද යන්න පිළිබඳ රහස් පොලීසියත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයත් ඉතා පුළුල් විමර්ශනාත්මක වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාවට අනුව තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු කරගෙන ඇත.

ඒ අනුව මෙම මරණය ඝාතනයක් බව නීතිපතිවරයා තීන්දු කරනු ඇති බවත් නුදුරේම ඊට අදාළ අධිකරණ කි‍්‍රයාමාර්ග ගනු ඇති බවත් රහස් පොලිස් ආරංචිමර්ග පවසයි.

මේ අතර තාජුඩීන‍්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තාජුඩීන්ගේ පවුලේ ඥාතීහු කටයුතු කරමින් සිටිති.

නීතිඥයන් පිරිසක් මේ සතිය තුළ දී ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව තාජුඩීන්ගේ පවුලට සමීප තොරතුරු අනාවරණය කරයි.

මීට වසර තුනකට පෙර තාජුඩීන්ගේ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ හිටපු නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව මේ පැමිණිල්ල ගොනු කිරීමට තාජුඩීන්ගේ පවුලේ ඥාතීහු බලාපොරොත්තු වෙති.

මීට අදාළ විමර්ශන කටයුතු වැරදි මාර්ගයකට යොමු කිරීමට උත්සහ කරන ලදැයි කියන හිටපු රජයේ ඉහළ තනතුරු දැරූ අය සමඟ සමීප සබඳතා පැවැත්වූ දැනට විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට විරුද්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වේ.තාජුඩීන්ගේ පවුලේ නීති කටයුතු මෙහෙයවන නීතිඥවරයකු පවසා සිටියේ නාරාහේන්පිට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැරදි සහගත වාර්තාවක් ඉදිරිපත් කර, රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සහ කර ඇති බවය.

පසුගිය සතියේ අධිකරණ නිලධාරී වෛද්‍ය වාර්තා මගින් පෙන්වාදී ඇත්තේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ තාජුඩීන් වාහනයේ නොසිටි බවයි. මෙවැනි ව්‍යාජ අනතුරක් සැලසුම් කර තාජුඩීන්ගේ සිරුර පසුව වාහනයට දමන්නට ඇතැයි සැක කිරීමට තරම් හේතුසාධක තිබෙන බව එම අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඔහුගේ සිරුරේ ඇති තුවාල පිළිබඳව වෛද්‍ය වාර්තාවක් පෙන්වා ඇත්තේ මෙවැනි තුවාල මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ තුවාලවලට සමාන බවත් ය.මේ අතර තාජුඩීන් ඝාතනයකට අදාළ යයි සැකකෙරෙන CCTV දර්ශන පෙළක් රහස් පොලිසිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මොහොමඩ් තාජුඩීන්ගේ අභිරහස්‌ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පෙර ඔහු සමග ප්‍රභූ පවුලක සාමාජිකයින් සිට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ.ඇමතිවරයා පවසන්නේ  එම වීඩියෝ දර්ශන සියල්ලක්ම මේ වනවිට රහස් පොලිසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. එම වීඩියෝ දර්ශනවල තාජුදීන් ගමන් කළ මාර්ගය පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වී ඇති බව පැවසේ.අධිකරණ නියෝගය ලබා දුන් වහාම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

bottom of page