top of page

රැලි අවශ්‍ය නැහැ; මහින්දට අවශ්‍යනම් අගමැති අපේක්ෂකයා විය හැකියි- අමාත්‍ය රාජිත සේනාරත්න

 

20/feb/2015

රැලි පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කොට එම අවස්ථාව ලබාගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවැසීය.

 

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් 18 වෙනිදා නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බැවින් ඒ මහතා මේ වන විටත් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයා වන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට එළැඹෙන මහ මැතිවරණයේ දී අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත් පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එවකට පැවැති පවුල් දේශාපලනය මෙන්ම දූෂණ අක්‍රමිකතා අවසන් කිරීමේ අරමුණින් බවත්, දූෂණ පිටුදැකීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු කිරීම සඳහා දින 100 වැඩසටහන හඳුන්වාදුන් බවත් එහි ප්‍රධාන අරමුණ යහපාලනයක් ඇති කිරීම බවත් සඳහන් කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා එම රැලියට එවා තිබූ පණිවුඩයෙන් ඒ මහතා අගමැති අපේක්ෂකයා වන බවක් සඳහන් කිරීමක් කර නොතිබූ බවත් එහි සඳහන් ව තිබුණේ ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන්දීමට ක්‍රියාකරන බවත් යන්න මෙහිදී පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.

bottom of page