top of page

සුදු වෑන් පැහැරගැනීම්

 

12/Oct/2015

පසුගිය පාලන සමයේ දකුණේ සිදු වූ සුදු වෑන් පැහැර ගැනීම් සඳහා කණ්ඩායම් 3 ක් එක්ව ක්‍රියාත්මක වී ඇතැයි පරීක්ෂණ වලින් හෙලිදරව් වී තිබේ.

මෙයින් පළමු කණ්ඩායම පැහැර ගන්නා පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කළ සහ ඔත්තු බලා පැහැර ගැනීමේ අවස්ථාව සූදානම් කරන කණ්ඩායම යි. බොහෝ විට ඒ සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හිතැති ආරක්ෂක අංශ ඔත්තු සේවයේ නිලධාරීන් සහ එල්.ටී.ටී.ඊ. යෙන් පළා ආ පිරිස් යොදා ගෙන තිබේ.

දෙවන කණ්ඩායම පැහැර ගැනීම සිදුකරන කණ්ඩායමයි. මේ සඳහා කරුණා අම්මාන්ට පක්ෂ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්, එස්.ටී.එෆ්. හි ගෝඨාභයට හිතැති පිරිසක් සහ ආරක්ෂක හමුදාවලින් විශේෂයෙන් තෝරාගන්නා ලද පිරිස් වරින් වර යොදා ගෙන ඇත. උදාහරණයක් ලෙස කොළඹ කොටුවේදී රතු කුරුස සාමාජිකයන් පැහැර ගැනීම සිදුකර ඇත්තේ කරුණා අම්මාන්ගේ කණ්ඩායමක් වන අතර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සිදුකෙළේ ගෝඨාභය රාජපක්ෂටට හිතැති හමුදාවේ කණ්ඩායමක් විසිනි.

තුන් වන කණ්ඩායම ඔවුන් පැහැර ගැනීමෙන් අනතුරුව පැහැර ගත්තවුන් විසින් ඉතිරි කර යන සාක්කි විනාශ කිරීමේ කණ්ඩායමයි. මෙම පිරිස ද ගෝඨාභය රාජපක්ෂගේ ඔත්තු කරුවන් වන අතර ඔවුන් එම අවස්ථාවේ අවට සිටි පුද්ගලයන් සේ පෙනී පැහැර ගත්තවුන් විසින් අහම්බෙන් හෝ ඉතිරිකරන සාක්කි විනාශ කරන කණ්ඩායමයි.

පැහැර ගත් පුද්ගලයා ඝාතනය කිරීම සහ සිරුර විනාශ කිරීම සිදුකර ඇත්තේ දෙවන කණ්ඩායම හෙවත් පැහැර ගැනීම සිදුකරන කණ්ඩායම විසිනි වන අතර එස්.ටී.එෆ්. හි පිරිස් යොදවා සිදුකරන ලද පැහැර ගැනීම් වලින් පසු සිරුරු විනාශ කර ඇත්තේ කොළඹට ඉතාමත් දුර බැහැර ප්‍රදේශ වල වනාන්තුර තුල දී ගිනි තබා බවත් කරුනා අම්මාන්ගේ පිරිස් විසින් සිදුකළ පැහැරගැනීම් වල දී සිරුරු වල හිස බඩ පලා මුහුදේ ගිල්වා සිරුරු විනාශ කර ඇති බවත් මේවනවිට හෙලිදරව් වී තිබේ.

පැහැරගැනීමකින් පසු ඒ පිළිබඳ මාධ්‍ය වලින් විමසන අවස්ථාවේ දී ඊට පිලිතුරු දෙන ආකාරය පොලිස් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ට වෙනමම උපදෙස් ලබා දී තිබේ.

මේ හෙළිදරව් වී ඇති තොරතුරු වලට අනුව මේ ආකාරයට සුදු වෑන් වලින් පැහැරගෙන කළ ඝාතන මෙහෙයැවූ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම සගයෙකු නුදුරු අනාගතයේ දී අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

bottom of page